Latest News

Saturday, November 21, 2015

කෙනෙකු දුප්පත් කරවන නරක පුරුදු 7ක්. අනිවාර්යෙන් කියවන්න

ගොඩක් වෙලාවට අපිට මාසේ පඩිය, නැත්තම් මාසික ආදායම මදි වෙනවා ඒ මාසයේ වැඩ ටික කරගන්න. මේ නිසා අපි ගොඩක් වෙලාවට සමහර දේවල් අපේ වියදම් ලයිස්තුවෙන් කපා හරිනවා. සමහර වියදම් නම් ඇත්තටම අවශ්‍ය වෙන දේවල් නෙවෙයි.  ඒත් ඔයාට බෙහෙත් වලට යන වියදම්, එහෙම නැත්තම් gym එකේ මාසික ගාස්තුව වගේ දේවල් කපා හරින්න වෙනවා කියන්නේ එතරම් හොද දෙයක් නෙවෙයි. මේ වගේ ලොකු වියදම් කපා හරිමින් වියදම පාලනය කලාට ඔයා නොදැනීම මාසයට ඊටත් වඩා මුදලක් ගිලිහෙන තැන් තියනවා කියල ඔයා හිතුවද? ඔයාගේ වියදම හොදටම පාලනය කරගන්න නම් මේ පොඩි පොඩි වියදම් අඩු ගරගන්නම ඕනි. බලන්න මේ වගේ පොඩි වියදම් ඔයත් කරනවද කියලා. එහෙම කරනවා නම් ඒවා පාලනය කරගගෙන මුදල් ඉතිරි කරන්න පුරුදු වෙන්න.

දුම් පානය

දුම් පානය කියන්නේ ශරීරයට වගේම සාක්කුවටත් කොහොමත් හොද පුරුද්දක් නොවෙයි. මේ පුරුද්දෙන් ඔයාගේ මුදල් නොදැනීම ගිලිහෙනව විතරක් නෙවෙයි, ඔයාගේ ශරීරයත් නොදැනීම දුර්වල වෙලා රෝගී උනාම තව තවත් මුදල් වැය වෙනවා. දුම් වැටි කියන්නේ වසරින් වසර හැම අය වැයකින්ම ඉහල දාන දෙයක් නිසා ඔයාට දුම්වැටි සදහා වැය වන මුදලත් වසරින් වසර වැඩි වෙනවා.

ඔබ දිනකට දුම්වැටි 5ක් බොන කෙනක් නම්,

දිනකට - 165/-

මසකට - 4950/-

වසරකට - 59400/-

ඔබ දුම් බොන කෙනෙක් නම් හිතල බලන්න මසකට රු. 5000ක් පමණ ඔබේ සාක්කුවෙන් නොදැනීම වැය වෙන්න කිසිම තේරුමක් නැති ඔබව රෝගී තත්වයට පත් කරන දේකට නේද?


මත්වතුර පානය

2012 වසරේ  සමීක්ෂනයකට අනුව ලංකාවේ අවුරුදු 15ට වැඩි පිරිමින් 35.6% ඇල්කොහොල් භාවිතා කරනනවා. මත්වතුර කියන්නෙත් අපිට නොදැනීම සාක්කුව හිස් කරන පුරුද්දක්. මේ පුරුද්දෙනුත් ඔයාගේ ශරීරයට ලොකු බලපෑමක් තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැ. අපි මුදල් පැත්ත ගැන හිතමු. ‘‘දැන් ඔයා හිතනවා ඇති මම හැමදාම බොන බේබද්දෙක් නෙවෙයි නේ. මම ඉදලා හිටල බොන්නේ ලොකු වියදමක් ඒකට යන්නේ නෑ‘‘ කියලා. හිතන්න ඔයා බොන්නේ සතියකට දවස් 3ක් කියලා. ඒකත් බොන්නේ බියර් එකක් විතරයි. වැඩි වියදමක් නැහැ.

ඔබ සතියකට බියර් බෝතල් 3ක් බොන කෙනෙක් නම්,

සතියට -  660/-

මසකට - 2640/-

වසරකට -  31680/-


තේ පානය

අපි සමහර වෙලාවට උදේ තේ එක බොන්නෙත් නැතිව රැකියාවට යන්නේ. ඊට පස්සේ අපි
උදෑසන තේ එක බොන්නේ කඩේකින්, නැත්නම් කාර්යාලයේම තියෙන කැන්ටින් එකෙන්. සමහර අයගේ පුරුද්දක් තියෙනවා නිතරම කඩේකින් තේ බොන්න ඕනි. ගොඩක් අය මේ තේ එක බොන්නෙ දුම්වැටියක් එක්ක. සමහර අය තේ බොන වෙලාවට මොනව හරි කන්නත් පුරුදුවෙලා ඉන්නවා. මේ පුරුද්ද නිසා ඔබට නොදැනීම ලොකු මුදලක් වැය වෙනවා.

ඔබ උදෑසන තේ එක විතරක් දිනපතා කඩේකින් බොන කෙනෙක් නම්,

දිනකට - 30/-

මසකට - 900/-

වසරකට - 10800/-

උදෑසන තේ එක ගෙදරින් බීලා අවොත් ඔයාට මේ මුදල ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තේ එකේ පිරිසිදු බව ගැනත් විශ්වාසය තියන්න පුළුවන්.


දිවා ආහාරය පිටින් ගැනීම

රැකියා කරන බොහෝ දෙනා දිවා ආහාරය පිටින් ගැනීමේ පුරුද්දට හුරු වෙලා ඉන්නවා. සමහර අයට ගෙදරින් කෑම එකක් ගේනන් පුළුවන් කම තිබියදීත් දිවා ආහාරය ගන්නේ කඩේකින්මයි. මේ පුරුද්දෙන් සාක්කුවට බලපෑමක් කරනවා වගේම සෞඛ්‍යට ලොකු හානියක් වෙනවා. පිටතින් ගන්න ආහාර වල ගොඩක් වෙලාවට කෘත්‍රිම රස කාරක අඩංගුයි. ඒ විතරක් නෙවෙයි මේවගේ පිරිසිදු බව ගැනත් අපිට විශ්වාසයක් තියන්න බැහැ.

ඔබ දිවා ආහාරය දිනපතා පිටතින් ගන්න කෙනක් නම්,

දිනකට - 150/-

මසකට - 4500/-

වසරකට - 54000/-


නිවස, වාහනය නිසි වේලාවට නඩත්තු නොකිරීම

ඔබගේ නිවසේ වහලයේ පොඩි සිදුරකින් ජලය කාන්දුවීමක්, බිම ඇති වූ පොඩි කඩතොලු ගැන හිතන්න. මේ දේවල් අපි එතරම් ගණන් ගන්න දේවල් නෙවෙයි. ඒත් මේවා නිසි වේලාවට නඩත්තු නොකලොත් මේ ගැටළුව ටිකෙන් ටික වැඩි වී අවසානයේ විශාල අළුත් වැඩියාවක් කිරීමට සිදුවෙනවා. වානයටත් මේ දේම තමයි සිදු වෙන්නේ. අපි ගොඩක් වෙලාවට වාහනයේ සර්විස් එක නිෂ්පාදකයින් දී තිබෙන කාලයේදීම කරන්නේ නැහැ මෙයින් එන්ජින් එකට හානි සිදු වන අතර එයින් අවසානයේ විශාල වියදමක් දැරීමට ඔබට සිදුවෙනවා. මේ නිසා පොඩි පොඩි අළුත්වැඩියා කටයුතු ඉක්මනින්ම කරන එක ඔබේ සාක්කුවට ගොඩක් වාසි දායක දෙයක්.


ලොතරැයි පත් මිලදී ගැනීම

බොහෝ දෙනෙක් ඉක්මනින් ධනවතුන් වීමට සිතා විශාල මුදලක් ලොතරැයි සදහා වියදම් කරනවා. ලොතරැයි කියන්නෙත් තවත් එක් සූදුවක් විතරයි. ලොතරැයි දිනුමකින් ප්‍රථම ත්‍යාගයක් ලැබෙනවා කියන්නේ මිලියන ගණනකින් එක් අයකුට ලැබෙන අවස්ථාවක්. ලක්ෂ ගණනක් මිනිසුන් තමන්ගේ මුදල නැති කරගන්නා විට කිහිපදෙනෙක් ඒ මුදල් ලබා ගැනීම තමයි අන්තිමට වෙන්නේ. ලොතරැයි වලින් කෝටිපතියන් වූ බොහෝ දෙනෙක් වසර කිහිපයකින් නැවතත් ඉතා දුගී තත්වයට පත්වන්නේ ඉක්මන් ධනවතකු වීමේ අනිටු ප්‍රතිඵලයක් ලෙසයි. ඔබට ධනවතෙක් වෙන්න අවශ්‍ය නම් ලොතරැයි සදහා වියදම් කරන මුදල් ඉතිරි කිරීමේ ගිණුමක හෝ කොටස් වෙළදපල වැනි තැනක ආයෝජනය කරන්න.

ඔබ දිනකට ලොතරැයි 5ක් මිලදී ගන්න කෙනෙක් නම්,

දිනකට - 100/-

මසකට - 3000/-

වසරකට - 36000/-

බොහෝ අයට මෙවැනි මුදලක් වියදම් කළ විට වසරකට උපරිම රු. 10000/- පමණ දිනුම් අවස්ථා ලැබෙන්නට පුළුවන්.


බිල්පත් ප්‍රමාද වී ගෙවීම

මේ පුරුද්ද නම් අපි හැමෝටම වගේ තියෙන පුරුද්දක්. අපි ගොඩක් වෙලාවට අපගේ බිලපත් නියමිත වෙලාවට ගෙවන්නෙම නැති තරම්. මසකට කෙනෙකුට ගෙවන්න වෙන අනිවාර්ය බිල් ගැන හිතන්න. දුරකථන බිල, ජල බිල, විදුලි බිල්, අන්තර්ජාල හා කේබල් ටීවි බිල්, මාසිකව ගෙවීමට ඇති ණය වාරික අපි හැම කෙනෙකුටම වගේ තියෙනවා. මේ හැම බිලක්ම ගෙවන්න පරක්කු වුණොත් අදාල සමාගමෙන් ඔයාගෙන් පොඩි පොලියක් අය කරනවා. හොදට බලන්න ඔයාගේ බිලපත් වලත්  late payment  කියලා පොඩි මුදලක් එකතු කරල ඇති. බොහෝ විට මේ මුදල බිල් පතින් 2% ක් වගේ වෙනවා. ලීසිං වාරික වල වගේ නම් ඊටත් වැඩි වෙන්න පුළුවන්.

ඔබ මාසිකව  10000/= බිල්පත් ප්‍රමාද කර ගෙවන කෙනෙක් නම්,

මසකට - 200/-

වසරකට - 2400/-


මේ විදියට ඔයාට වැය වෙන සියළුම අනව්‍යශ වියදම් (නිවාස සහ වාහන නඩත්තුවෙන් වන වියදම් හැර)

මසකට - 16190/-

වසරකට - 194280/-

මෙහි දක්වලා තියෙන්නේ ඔයාට නොදැනීම දිනපතා ගිලිහෙන මුදල් ගැන ඉතාමත් අඩුවෙන් තක්සේරු කරලා ඉදිරිපත් කරපු ගණන් ටිකක්. මේ නරක පුරුදු නිසා ඔබේ සාක්කුවෙන් ගිලිහී යන මුදල් ප්‍රමාණය නිවැරදිව ගණනය කරන්න පුළුවන් ඔබට විතරයි. ඒක හරියට ගණනය කළොත් ඔයාට හිතාගන්න පුළුවන් වසරකට කොපමණ මුදල් නිකරුණේ ඔයාගේ අතින් වියදම් වෙනවද කියලා. මේ පුරුදු වලින් මිදුනොත් ඔයාටත් ධනවතෙක් වෙන්න පුළුවන් වේවි.

No comments:

Post a Comment

Recent Post