Latest News

Saturday, April 23, 2016

නිසි සත්කාරයෙන් ඔබටත් පැහැපත් දෙපා



කාන්තාවකගේ දෙපය සුන්දර විය යුතුයි. නමුත් ඇතැම් කාන්තාවන් නා නා විලාසිතාවලින් සැරසී සිටියත් ඔවුනගේ දෙපා ගැන නම් අවධානයක් නොමැති බැව් පෙනෙනවා. අපිරිසුදු වැවුණු නිය, පැලුණු කුණු පිරි විලුඹ සහිත අපිරිසුදු දෙපා නිසා කොතෙක් මෝස්තර සිදු කළත් රූපයේ පැහැදිලි අඩුවක් ඇති වේ. එමනිසා සෑම කාන්තාවක්ම තම මුහුණට දක්වන සැලකිල්ල තමාගේ දෙපයට ද දැක්විය යුතුයි. එමෙන්ම රූපලාවන්‍ය ශිල්පියකු හෝ ශිල්පිනියක වන ඔබ පෙඩික්‍යු එකක් නැතිනම් දෙපා සත්කාරයක් සිදු කරන ආකාරය පිළිබඳ දැනුවත් විය යුතුයි. එමෙන්ම මේ පිළිබඳ දැනුවත් බවක් ලබා ගැනීම තුළින් තමාගේ දෙපයට පෙඩික්‍යු එකක් කරගැනීමටත් ඔබට පුළුවන්. පෙඩික්‍යු එක සිදු කරන්නේ කෙසේදැයි දැන් අපි බලමු. මේ සඳහා ෆුට් ස්පා ලෙස හඳුන්වන උපකරණයක් අවශ්‍ය වේ. මෙම ෆුට් ස්පා එකට මද උණුසුම් ජලය දමා ගන්න. එම ජල බඳුනට ෂැම්පු ස්වල්පයක් හා ඩෙටෝල් ස්වල්පයක් මිශ‍්‍ර කරන්න.දැන් දෙපා මෙම ෆුට් ස්පා එකට දමා විනාඩි 15 ක පමණ වේලාවක් තැබිය යුතුයි. ෆුට් ස්පා එක විදුලියට සවි කිරීමෙන් මෙම උපකරණය තුළ ඇති කුඩා ගැටිති මගින් දෙදෙරීමක් සිදු සිදුවන අතර එමගින් යටි පතුල් සම්බාහනය වීමක්, කුඩා තෙරපීමක් සිදු වේ. දැන්, නේල් බ‍්‍රෂ් එක ගෙන නියපොතු හා කකුල හොඳින් බ‍්‍රෂ් කරගන්න. ඇඟිලි කරු අතර හා යටි පතුල ද මේ අයුරින්ම බ‍්‍රෂ්කර හොඳින් පිරිසුදු කරන්න. ඉන්පසු දෙපා වතුර බඳුනෙන් ඉවත් කර තෙත මත්තු කරන්න. ෆුට් ස්පා එකේ ඇති වතුර ඉවත්කර සාමාන්‍ය වතුර දමන්න.

 දෙපයේ ඇති නියපොතු වැවී ඇත්නම් නේල් කටර් එකක් භාවිතකර නියපොතු කපන්න. කෝනර් කටර් එකෙන් නියපොත්තේ දෙපස සමට සවි වී ඇති පෙදෙසේ ඇති කොටස් කපා පවිත‍්‍ර කරගන්න.නිය කැපූ පසු නේල් ෆයිල් එක භාවිතකර නියපොත්ත කැපූ ප‍්‍රදේශය පිරිමැදීමෙන් එහි ඇති කඩතොලු ස්වභාවය නැති වී හොඳ නිමාවක් ලබාගත හැකියි. නේල් බෆර් එකේ රළු පැත්තෙන් නියපොත්ත පළමුව මදින්න. ඉන්පසු මඳක් රළු පැත්තෙන් ද පසුව මඳක් මෘදු පැත්තෙන් හා ඉතාම මෘදු පැත්තෙන් නියපොත්ත මැදීමෙන් නියපොත්තට හොඳ පෙනුමක් ලබාගත හැකියි. ඉන්පසු ෆුට් ස්ක‍්‍රබර් එක ආධාරයෙන් දෙපයේ උඩු පතුල හා යටි පතුල ස්ක‍්‍රබ් කිරීමෙන් මැරුණු සම ඉවත් වීමක් සිදු වේ. ෆුට් ෆයිල් එක ගෙන යටි පතුලේ අතුල්ලා එහි ඇති මැරුණු සම ඉවත් කර ගන්න. යටි පතුලේ ඇති මැරුණු, පැලුණු සම කෝනර් කටර් එකෙන් කපා ඉවත්කරගත යුතුයි. ඔරේන්ජ් ස්ටික් එක ගෙන නියපොතු හා සම අතර ඇති මැරුණු සම හා කුණු ඉවත් කර ගන්න.ඔරේන්ජ් ස්ටික් එකේ පැතලි පැත්තෙන් නියපොත්තේ ඇති සම කොටස පසුපසට තල්ලු කරන්න. ඉන්පසු නියපොත්ත හා සම සවි වී ඇති ප‍්‍රදේශයට ක්‍යුටිකල් ඔයිල් ස්වල්පයක් තවරන්න. මේ සියල්ලෙන් අනතුරුව ෆුට් ස්ක‍්‍රබ් කී‍්‍රම් එකක් ගෙන දෙපයේ ආලේප කළ යුතුය. මෙය දෙපාවල ආලේප කළ යුත්තේ දණහිස් වල සිටයි. පෙඩික්‍යු එකකට අයත් වන්නේ දෙපයේ දණහිස් වලින් පහළ කොටසයි. දැන් ස්ක‍්‍රබ් කී‍්‍රම් ඉවත් කර දෙපා ජලයෙන් සෝදා ගන්න. පසුව ෆුට් මසාජ් කී‍්‍රම් එකක් ගෙන දෙපයේ ගල්වා දෙපා හොඳීන් මසාජ් කරන්න. පහත දැක්වෙන ඡායාරූපවලින් මෙය ඔබට වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකියි. පෙඩික්‍යු එකක් කිරීමෙන් යටි පතුල්වල ඇති රළු ස්වභාවය නැති වී මෘදු බවක් ලැබේ. යටි පතුල් පැලීම අඩු වී සහනයක් ලැබේ. නිය හා දෙපයේ සනීපාරක්ෂාවට හා පැහැපත් බවට මෙයින් මනා පිටිවහලක් ලබා ගත හැකිය.

No comments:

Post a Comment

Recent Post