Latest News

Friday, April 29, 2016

හිසේ කැක්කුම හා හිරිවැටීම දිගින් දිගටම ඇතිවෙනවා නම් එය අවදානම් සහිත රෝග තත්ත්වයක් විය හැකියි.

hiriya


හිස කැක්කුමක් අතේ පයේ හිරිවැටීමක් අප බොහෝවිට සාමාන්‍ය රෝග තත්ත්වයක් ලෙස සලකා තාවකාලික ප‍්‍රතිකර්මයකින් සෑහීමකට පත්වන අවස්ථා තිබෙනවා. නමුත් මෙම තත්ත්වය දිගින් දිගටම ඇතිවෙනවා නම් අසාමාන්‍ය ලෙස දැනෙන වේදනාවක් පවතිනවා නම් එය අවදානම් සහිත රෝග තත්ත්වයක් විය හැකියි. ඒ අයුරින් ඔබ පීඩාවට පත්කරවන හිසරදය හිරිවැටීම අවදානම් රෝග තත්ත්වයක් බවට පත්විය හැක්කේ මොන ආකාරයෙන්ද යන්න මෙවර විශේෂඥ වෛද්‍ය හමුවෙන් විමසා බලමු. හිස කැක්කුම බහුලව දක්නට ලැබන රෝග තත්ත්වයක් විවිධාකාර හේතුන් මත හිසකැක්කුම ඇතිවිය හැකියි. ඉරුවාදරය, පීනස, රුධිර පීඩනය, ශාරීරිකව ඇතිවන වෙනත් රෝගයක් නිසා එනම් දියවැඩියාව වැනි රෝගයක් පාලනය කර නොගැන්ම ආදි හේතුන් මත හිසරදය ඇතිවන්නට පුළුවන්. සමහරවිට අක්ෂි දුර්වලතාවය නිසා පාසල් යන වියේ පසුවන දරුවන්ට හිසරදය ඇතිවන අවස්ථා තිබෙනවා. ඒ හැරෙන්නට අප බොහෝ විට පවසන ස්ටෙ‍්‍රස් එක එනම් මානසික පීඩාකාරී බව, කාර්ය බහුල බව ආදියද මෙයට හේතුවිය හැකියි.
උදේ කාලයට එවැනි හේතුන්ගෙන් තොරව යම් අයෙකුට අඩු නොවී පවතින හිස කැක්කුමක් පවතිනවා නම්, විශේෂයෙන්ම උදේ අවදිවන විට අධික හිස කැක්කුමක් ඒ සමඟ වමනය යාමක් හෝ කරකැවිල්ලක් තියෙනවනම් ඒ පිළිබඳ විමසිලිමත් විය යුතුයි. කරකැවිල්ලද බොහෝ අයට තිබෙන දෙයක්. මෙවන් තත්ත්වයකදි බලන්නට ඕන කරකැවිල්ල ඇතිවන්නේ මොනවගේ අවස්ථාවකද? උදේ නැගිටින විට ඇතිවනවාද? නැත්නම් හිස පහත් කරන විට දැනෙනවා ද කියා. ඇතැම් විට මෙයට හේතුව කන්වල ආබාධයක් නැත්නම් රුධිර පීඩනයේ වෙනස්වීමක් වෙන්න පුළුවන්. එවැනි ත්තත්වයක් නොමැතිව කරකැවිල්ල තියෙනවා නම් ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගත යුතුයි.

අතපය හිරිවැටීම

අනෙක් දේ තමයි හිරිවැටීම. යම් කිසි කෙනකුට මෙම හිරිවැටීම අතේ හෝ කකුලක හෝ ඔලුවේ තිබෙන්නට පුළුවන්. අත්වල හිරිවැටීම බොහෝ විට දක්නට ලැබෙන්නේ මැදිවියේ අයටයි. පිහියකින් යම් දෙයක් කැපීමේදී – ලිවීමේදී හෝ කොම්පියුටරයෙන් වැඩකිරීමේදී අතේ හිරිවැටීමක් ඇතිවනවා. ඇතැම් විට විටමින් ඌනතාවයක්, ස්නායුවක තෙරපිමක් හෝ ස්නායුවක් දුර්වලවීම ස්නායු රෝග නිසා මෙසේ සිදුවන්නට පුළුවන්. විශේෂයෙන්ම නින්දේදී හිරිවැටෙනවනම්, කල්පවතින හිරියක් අඩුවීමක් නොමැතිව ක‍්‍රමයෙන් වැඩිවෙමින් තියෙනව නම් වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයි. කකුලේ ඇඟිල්ලක හෝ කකුලේ එක් ප‍්‍රදේශයක, කලවා ප‍්‍රදේශයේ වන හිරිවැටීමක් වුවහොත් දියවැඩියාව හෝ ස්නායු රෝගයක් තිබෙනවාද යන්න පරීක්ෂාකර බැලීම අවශ්‍යයි.
විශේෂයෙන්ම කකුල් හිරිවැටීමක් වෙත්නම් වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත්. මෙවැනි රෝග අවස්ථාවන්ට ප‍්‍රතිකාර ලබා ගැන්ම නොසලකා හැරියොත් කුමන ආකාරයේ අවදානමකට මුහුණ දෙන්නට සිදුවේවිද? ප‍්‍රධානම දේ තමයි මොළේ ඇතුලත රුධිර නාලයක් පිපිරීමට ඇති අවදානම. රුධිර නාල පිපිරීම දැන් බහුලව සිදුවනවා. තද හිසරදයකින් පෙළෙමින් සිටින අයෙකුගේ එකවරම මොළේ රුධිර නාලයක් පිපිරීමෙන් ජීවිතේ නැතිවීමට වුවත් පුලුවන්. මොළේ රුධිර නාලයක් පිපිරීම ඉතාමත් බරපතල අවස්ථාවක්.

ස්කෑන්

අසාමාන්‍ය ලෙස යම් කෙනෙකුට හිසරදයක් පවතිනවා නම් වෛද්‍ය වරයෙකුට පෙන්වා ඒ සම්බන්ධව ස්කෑන් පරීක්ෂණයක් හෝ නහර පරීක්ෂණයක් කරවා ගත යුතුයි. අනෙක් කරුණ නම් මෙම තත්ත්වයන් ආරෙට ඇතිවිය හැකිවීමයි. විශේෂයෙන් පවුලේ එකළඟ දෙන්නෙකුට රුධිර නහර රෝග තත්ත්වයක් වෙත් නම් ස්ථිර වශයෙන්ම රුධිර නහර පරික්ෂාවක් කරවා ගත යුතුයි. මෙම තත්ත්වය අවස්ථා දෙකක් වශයෙන් දක්වන්නට පුළුවන්. එනම් රුධිර නාලයක් පුපුරන්නට පුළුවන්. නැත්නම් රුධිර නාලයක රුධිර කැටියක් හිරවෙන්නටත් පුළුවන්. අප අංශභාගය වශයෙන් හඳුන්වන්නේ මෙම තත්ත්වයයි.

වැටීම

යමෙකුට හිසකැක්කුම ඇතිවෙලා වැටීමෙන් අංශභාගයට පත් විය හැකියි. ඒ වගේම සිහිය නැතිවන්නට පුළුවන්. මෙම අවස්ථා දෙකෙහිදිම රුධිර නාලයක් සිරවීම එහෙමත් නැත්නම් පිපිරීම සිදුවන්නට පුළුවන්. යම් අයෙක් ඔලුව කැක්කුමෙන් පෙළෙමින් සිටියදී ඇදගෙන වැටුණොත් ළඟම තිබෙන ප‍්‍රධාන රෝහලකට රැගන යාම ඉතා වැදගත්. හේතුව මේ අවස්ථාවේදී ජීවිත හානියක් පවා සිදුවිය හැකි වීමයි. එමනිසා මෙම තත්ත්වය පවුලේ කෙනෙකුට තිබෙනවා නම් ඒ අයගේ රුධිර පීඩනය පරීක්ෂා කරවා ගත යුතුයි.

හතළිහෙන් පසුව

සාමාන්‍යයෙන් රුධිර නාල වල රෝග දක්නට ලැබෙන්නේ අවුරුදු හතළිහෙන් පසුවයි. නමුත් ඊට වඩා අඩු වයස්වල පසුවන අයගේ එනම් අවුරුදු 18-20 වයස්වලදී පවා දැන් රුධිර නාල පිපිරීම දැකිය හැකියි.

මොළේ ලේ කැටියක් සිරවීම වශයෙන් හඳුන්වන තත්ත්වය පැහැදිළි කළොත්?

මොළේට ආහාර සපයන්නේ රුධිරයයි. මොළයේ එක් කොටසකට රුධිරය යාම නතර වුණොත් එම සෛල විනාශවීමෙන් මොළයේ එම කොටස අකී‍්‍රය වෙනවා. එවිට එම කොටසෙහි කි‍්‍රයාකාරිත්වය නොමැතිවිම නිසා එම අංශයේ පනනැති වීමක් සිදුවන්නට පුළුවන්. යම් අයෙකුට අංශභාගය වැනි තත්ත්වයක් ඇති වුවහොත් වහාම රෝගියාව මූලික රෝහලකට රැගෙන යා යුතුයි. පැය විසිහතරක් ඇතුළතදී රෝගියා රැගෙන ආවොත් ඖෂධ මගින් එම රුධිර කැටිය දියකිරීමේ හැකියාව තිබෙනවා. එම නිසා ප‍්‍රධාන රෝහලකට රෝගියාව යොමුකළ යුතුයි. රුධිර නාලයක් පුපුරා තිබේ නම් එම අවස්ථාවේදීත් පළවෙනි පැය විසිහතර ඇතුළත ශල්‍යකර්මයක් කළ හැකි වුවොත් රුධිරය ගලායාම නවත්වා සමහරවිට රෝගියාගේ ජීවිතය බේරාගන්නට පුළුවන්. එමගින් රෝගියාට පසුකලකදි විය හැකි අංශභාග තත්ත්වයක් අවම කරලීමට හැකියි. සමහරවිට රෝගියාව සම්පූර්ණයෙන්ම සුවකිරීමට නොහැකි වන්නට පුළුවන්. නමුත් ඒ තිබෙන ප‍්‍රමාණයෙන් යම්කිසි ප‍්‍රමාණයක් රුධිරය ඉවත් කිරීමෙන් පිළියම් යෙදිය හැකියි.

අංශභාගය

සාමාන්‍යයෙන් සමහර අය අතර තිබෙන විශ්වාසයක් තමයි අංශභාගය වැනි රෝග තත්ත්වයක් සුව කර ගන්න බෙහෙත් තෙල් සත්කාරය කළ යුතු බව. ඇත්තෙන්ම එවන් දේ කිරීමෙහි ඇති වරදක් නෑ. මෙහිදී එක්සයිස් කිරීමත් අවශ්‍යයි. නමුත් මූලිකම අවස්ථාවේදී රෝගියාව පරීක්ෂාකර බලා පහසුකම් තිබෙන රෝහලකින් CT ස්කෑන් එකක් කර මොළයේ අභ්‍යන්තරයේ තත්ත්වය පිළිබඳව නිගමනයකට එළඹිය යුතුයි. පත්විය යුතුයි. ඉන්පසුව වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත අනෙකුත් ප‍්‍රතිකර්ම වලට යොමු කරලීමේ හැකියාව තිබෙනවා. මෙහිදී මුල් අවස්ථාවේ කරනු ලබන පරීක්ෂාව ඉතාමත් වැදගත්. ඇතැම් විට අප නොදන්නා හේතුකාරකයක් එනම් මොළේ ගෙඩියක් වැනි දෙයක් ඇතුළතින් තිබෙන්නට පුළුවන්. ප‍්‍රධාන ප‍්‍රතිකාර අතපසුකර මෙයට වෙනත් බාහිර ප‍්‍රතිකර්ම කරමින් සිටීමෙන් මුල් අවස්ථාවේදී රෝගය සුව කිරීමට ඇති හැකියාව නැතිවෙනවා. දැන් සෑම රෝහලකම පාහේ ස්නායු සම්බන්ධ ප‍්‍රතිකාර කරනඅංශ තිබෙන නිසා පවුලේ වෛද්‍යවරයා හරහා රෝගියාව මූලික රෝහලකට ඇතුළත් කිරීම වැදගත්.

No comments:

Post a Comment

Recent Post