Latest News

Monday, January 29, 2018

මිනිස් ක්ලෝනීකරණයත් යතාර්ථයක් වේවි!


ඉතිහාසයේ ප්‍රථම වතාවට primate සත්වයෙක් ක්ලෝනීකරණය කිරීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. ඔබ දන්නවා ඇති මිනිසාත් Primate විශේෂයට අයත් ක්ෂීරපායි සත්වයෙක්. ඉන් අදහස් කරන්නේ මිනිසෙකු ක්ලෝනීකරණය කිරීමේ ක්‍රියාවලියට විද්‍යාඥයින් එක් පියවරකින් සමීප වී ඇති බවයි.
මේ දිනවල මුළු ලෝකයම කතාවන්නේ චීන විද්‍යා ඇකඩමිය සහ ක්ලෝනීකරණය අංශයෙන් ඔවුන් ලැබූ විශාල ජයග්‍රහනයක් පිළිබඳවයි. විශ්වාස කරන්න, වඳුරන් දෙදෙනෙකු අති සාර්ථකව ක්ලෝනීකරණය කිරීමට ඔවුන්ට හැකිවී තිබෙනවා. ඔවුන් හඳුන්වන්නේ Zong Zong සහ Hua Hua ලෙසයි.
මුළු ලෝකයම මවිතයට පත්කරමින් ඔවුන් මීට සති දෙකකට පමණ පෙර විද්‍යාගාරයක් තුල මෙලොව එලිය දුටුවා. විශ්වාස කරන්න, ඔවුන් දෙදෙනාගේම DNA එක සමාන වන අතර පෙනුමෙන්ද හාත්පස සමානයි.
චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයින් මෙම සත්වයින් දෙදෙනා ක්ලෝනීකරණය කිරීමට භාවිතා කර තිබුනේ, ලොව ප්‍රථම ක්ලෝනීකරණ සත්වයා නිපදවීමට භාවිතා කරපු තාක්ෂණික ක්‍රමවේදයමයි.
Somatic cell වර්ගයේ සෛලයක් සහ nuclear transfer ලෙස හඳුන්වන තාක්ෂණික ක්‍රමවේදය භාවිතා කරමින් තමයි, විද්‍යාඥයින් විසින් එම බැටළුවාව ක්ලෝනීකරණය කර තිබුනේ.
Nuclear Transfer ක්‍රියාවලියේදී සිදුවන්නේ නීරෝගී ඩිම්භ සෛලයක න්‍යෂ්ටිය ඉවත්කොට, එම ඩිම්භ සෛලයට වෙනත් දායකයෙකුගේ සෛලයක න්‍යෂ්ටිය බද්ධ කිරීමයි. ඉන් පසුව එය කලලයක් දක්වා වර්ධනය වෙනවා. චීන විද්‍යාඥයින් 79 වතාවක් අසමත් වුනත්, අවසානයේදී කෙසේ හෝ එම ක්ලොනීකරණය සාර්තක කරගෙන තිබුනා.
Somatic cell nuclear transfer ක්‍රියාවලිය ගවයින්,බළලුන්, බල්ලන් සහ මීයන් වැනි සත්වයින් ක්ලෝනීකරණය කිරීමට භාවිතා කර තිබෙනවා. නමුත් එම සත්වයින්ට වඩා Primate සත්වයෙකු ක්ලෝනීකරණය කිරීම අතිශය දුෂ්කරයි.
Primate දායකයෙකුගේ න්‍යෂ්ටිය නැවත DNA වැඩසටහන්ගත කරන විට, බොහෝ අවස්තාවන් වලදී ස්වභාවයෙන්ම එම DNA මැකීයාමක් සිදුවෙනවා. අන්න එම ගැටලුව නිසා තමයි අද වන තුරු primate සත්වයෙකු ක්ලෝනීකරණය කිරීමට නොහැකි වුනේ.
එම ගැටලුව නිරාකරණය කරගැනීමට ඔවුන් කටයුතු කරපු විදිය දැන් අපි සොයා බලමු. විද්‍යාඥයින් ඒ සඳහා භාවිතා කර තිබුනේ ගබ්සාකරනු ලැබූ වඳුරු කළලයක සෛල සහ ඩිම්භ අවටවූ සෛලයන්.
ඉතින් මෙම සාර්ථක ක්ලෝනීකරණය මිනිසෙකු ක්ලෝනීකරණය කිරීමේ ක්‍රියාවලිය දිනක යතාර්ථයක් බවට පත්වෙන බව සනාත කර සිටිනවා.
විද්‍යාඥයින් පවසන අපරිදි, මේ විදියට ක්ලෝනීකරණය කරන ලද primate සත්වයින්, මිනිසාට වැළඳෙන ලෙඩරෝග වලට ඖෂධ නිපදවීම සඳහා පර්යේෂණ වලට යොදාගන්නට පුළුවන්.
නමුත් මිනිසෙකු ක්ලෝනීකරණය කිරීම සදාචාර සම්පන්නද යන්න ගැටළුවක්ව පවතිනවා. මොකද ක්ලෝනීකරණය කිරීම හරියට ස්වභාදහම හෝ ලෝකය මැවූ දෙවියන් සමග කරන සෙල්ලමක් බඳුයි.
ඒ පිළිබඳව ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

No comments:

Post a Comment

Recent Post