“ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ” යැයි කියමනක් ශ්‍රී ලංකා ජනවහරේ තිබේ. එහි අර්ථය අමුතුවෙන් කිවයුතු ද නොවේ. ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව ද එම කියමන වර්තමානයේ වඩාත් ගැලපේ. “සනත් ජයසූරිය දීලා ග‍්‍රැහැම් ලැබ්රෝයි ගත්තා වගේ” යැයි කිවහොත් එහි වරදක් නැත.
නවසීලන්තයේදී මේ මස 13 වැනිදා ආරම්භ වන වයස 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල තේරීමේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ එම සංචාරයට තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා සහභාගි වීම යන කරුණු මත ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහක් නිර්මාණය වී තිබේ. සනත් ජයසූරිය සහ ග‍්‍රැහැම් ලැබ්රෝයි අතර ක‍්‍රිකට් දැනුමින් අහසට පො‍ළොව මෙන් පරතරයක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එය දෙදෙනාගේ ක‍්‍රීඩාව අත්දැකීම් පිළිබඳව පමණක් අවධානය යොමු කිරීමෙන් අවබෝධකරගත හැකිය.
සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට එල්ල වූ විවේචන හමුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මස එම කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් නව තේරීම් කමිටුව පසුගිය සැප්තැම්බර් මස මැදදී පත් කළේය. නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ගාමිණි වික‍්‍රමසිංහ, ජෙරී වවුටස්, සජිත් ප‍්‍රනාන්දු සහ අසංග ගුරුසිංහ යන මහත්වරු කටයුතු කරති.
මෙම තේරීම් කමිටුවට සාමාජිකයන් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ අතර එම කාලයේ ශ්‍රී ලංකා පිල වැටී සිටි අගාධය හේතුවෙන් බොහෝ දෙනකු තේරීම් කමිටුවට පැමිණීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන්ගේ ඉල්ලීම මත ලැබ්රෝයි මහතා සභාපති ධූරය බාරගත් බව දැනගන්නට ලැබුණි.
ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග තීරකයකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙම තනතුරද බාරගත් අතර ඒ හේතුවෙන් ඔහුට ක‍්‍රියාකාරීව තේරීම් කමිටුවේ කටයුතු කිරීමට කාලය තිබේද යන්න ගැටලුසහගතය. නවක ක‍්‍රීඩකයන් රැසක් වරින්වර සංචිතයට ගෙන ඒම සහ ඇතැම් ක‍්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් පැවැති තේරීම් කමිටුව එල්ල වූ ප‍්‍රධානම චෝදනා වූ අතර සනත් අඛණ්ඩව සංචාරවලට සහභාගි වීම ද ඒ කාලයේ කතා විය.
සනත්ගේ ගමන් වියදම්වලට වැට බැඳීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව විවිධ ක‍්‍රියාමාර්ග ගත්තේය. ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත, රංජිත් මදුරුසිංහ කටයුතු කළ අතර අසංක ගුරුසිංහ අවසන් මාස කීපයේදී එම තේරීම් කමිටුවේ ද කටයුතු කළේය.
නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා පිලට කොළඹ ප‍්‍රධාන පාසලක විශේෂ දස්කම් නොදැක්වූ ක‍්‍රීඩකයකු ඇතුළත් කිරීම වඩාත් විවාදාත්මකය. මෙම ක‍්‍රීඩකයාට අවස්ථාව ලබාදීමට මීට පෙර ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන අයන සිරිවර්ධන ඉවත් කිරීම දැඩි පාඩුවකි.
රංජිත් මදුරුසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණිෂ්ඨ තේරීම් කමිටුව නම් කළ කණ්ඩායමට අයන සිරිවර්ධන ඇතුළත්ව සිටියද එම තේරීම් ජාතික තේරීම් කමිටුව ලැබුණු පසු සංශෝධනය වී තිබේ. මෙම සංශෝධනය පිටුපස අදාළ ක‍්‍රීඩකයාගේ පාසලට සම්බන්ධ වයස 19න් පහළ කණ්ඩායමේ ප‍්‍රධාන නිලධාරියකු ද සිටින බව ප‍්‍රසිද්ධ රහසකි. අදාළ නිලධාරියා තම පාසලේ ක‍්‍රීඩකයා සංචිතයට ගෙන ඒම ඉතාමත් සංවිධානත්මකව ක‍්‍රියාත්මක කළේය.
අදාළ ක‍්‍රීඩකයාගේ සමීපතම ඥාතියකු ද ක‍්‍රිකට් විනිසුරුවන්ගේ ඉහළ තනතුරක් දරන බවත් ඔහුද මෙම මෙහෙයුමේ ප‍්‍රධාන කොටස්කරුවකු බවත් දැනගන්නට තිබේ. විනිසුරුවන්ගේ ඉහළ තනතුරක් දරන්නේ යැයි කියන මෙම පුද්ගලයා ලෝක කුසලාන තරගාවලියට නැරඹීමට නවසීලන්තයට යෑමට වීසා සඳහා මීට මාස කීපයකට පෙර අයදුම්කර තිබූ බව ද වාර්තා වේ. එම ක‍්‍රීඩකයා ලෝක කුසලානයට උඩින් පාත්වන බව අදාළ පුද්ගලයා මාස කීපයකට පෙර දැනසිට ඇති බව ඉන් මනාව පැහැදිලි වේ.
ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා ඇතුළු ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයන්ට මෙම වයස 19න් පහළ සංචිතයට ඇතුළත් ක‍්‍රීඩකයන් බොහෝමයක් පිළිබඳව හොඳ දැනුමක් නැති බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්වේ. එය එසේ වුවද කනිෂ්ඨ තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන්ට ක‍්‍රීඩකයාගේ නම කියූ පමණින් ඔහුගේ ඉතිහාසය කිවහැකි මට්ටමේ දැනුමක් තිබේ. තවද කනිෂ්ඨ තේරීම් කමිටුව සෘජුව මැදිහත් වී ජාතික තළයට ගෙන ආ ක‍්‍රීඩකයෝද මෙම සංචිතයේ සිටිති. එය එසේ තිබියදී ජාතික තේරීම් කමිටුව සංචිතය වෙනස් කිරීම කොතරම් සාධාරණද යන්න සිතා බැලිය යුතුය.
ලෝක කුසලාන තරගාවලියට කනිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයකුගේ අවස්ථාව අහිමිකරමින් ලැබ්රෝයි මහතා සහභාගි වීම පිටුපස ද කතන්දරයක් තිබේ. එම ගමන ඒ මහතාගේ පෞද්ගලික සංචාරයක් බවට පත්ව ඇති බව වාර්තා වේ. ලැබ්රෝයි මහතා පුත‍්‍රයා නවසීලන්තයේ පදිංචිව සිටින බවත් ලෝක කුසලාන තරගාවලිය පුත‍්‍රයා බැලීමේ අවස්ථාවක් බවට පත්කරගෙන ඇති බව දැනගන්නට තිබේ.
කණිෂ්ඨ තේරීම් කමිටුවේ කාලය පසුගිය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් බව එහි සාමාජිකයන්ට නිල වශයෙන් දැනුම්දී ඇති බවද දැනගන්නට තිබේ. මෙවැනි නිලධාරීන් සිටින තෙක් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගැනීමට නොහැකිය. මෙවැනි දේවල් වනතෙක් ක‍්‍රිකට් සහ ක‍්‍රීඩා බලධාරීන් ඇස්, කන් පියාගෙන සිටීම ඊට වඩා ඛේදවාචකයකි.